Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2024 20:14:26 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මෙම උත්සවය එතුමන්ගේ ධූර කාලය තුළ දක්වන ලද නායකත්වය සහ සේවය වෙනුවෙන් උපහාර පිදීමක් විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන්පසු සියලු නිල තේ පැන් සංග්‍රයකට සහභාගි වූ නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් එහිදී නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සුහද පිළිසඳරක නිරත විය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සමඟින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

පසුව පැවති සමුගැනීමේ කතාවේදී, නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් විසින් තමාගේ රෙජිමේන්තු අධිපති ධූර කාලය පුරාවටම ලබා දුන් නොසැලෙන සහයෝගය සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සියලු සාමාජිකයින් වෙත සිය කෘතවේදීත්වය පළ කළේය. අනතුරුව, රෙජිමේන්තුවේ සාමූහික ජයග්‍රහණ ඉස්මතු කළ එතුමන් ඉදිරියටත් ඔවුන්ගේ කැපවීම තුලින් විශිෂ්ටත්වයට පැමිණීම සඳහා භටපිරිස් දිරිමත් කරන ලදී.

රෙජිමේන්තු අධිපති ලෙස, එතුමන්ගේ කීර්තිමත් සේවයේ සමාප්තිය සනිටුහන් කරමින් සිය ධූරයේ රාජකාරින් සංකේතාත්මකව භාරදීමත් සමඟින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.