25th December 2024 17:35:30 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 දෙසැම්බර් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී සිදුකළ අමිල සේවය පිළිබඳ පැසසුමට ලක්කළේය. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පවුලේ සාමාජිකයන් වෙත පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.
සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය. පසුව, ඔවුන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද ත්‍යාගයක් පිරිනමනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ.
මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට එක්විය. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 33 යටතේ මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එතුමන් වර්ෂ 1991 ජුනි මස 15 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. අන්තර් ඒකක හුවමාරුව යටතේ විශේෂ බලකාය වෙත අනුයුක්ත කෙරුණු එතුමන් පසුකාලීනව නැවතත් ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2023 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජනවාරි මස 01 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවීය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි, අම්පාර සටන් පුහුණු පාසලේ උපදේශක, 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බුද්ධි නිලධාරි, 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 3 විශේෂ බලකාය සහ 1 විශේෂ බලකායේ විධායක අධිකාරි, 1 විශේෂ බලකායේ පාලන සහ ආධාරක බලඝණයෙහි අණදෙන නිලධාරි, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියා/නැගෙනහිර), ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ උපදේශක, ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරි, 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් වැනි ප්‍රධාන ධූරයන් රැසක් එතුමන් විසින් හොබවා ඇත. එමෙන්ම, ගාල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ එතුමන් 62 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) නියෝජ්‍ය කලාප අණදෙන නිලධාරි, 571 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානගේ ලේකම්, යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ වික්‍රම පදක්කමෙන් දෙවරක් සහ රණශූර පදක්කමෙන් දෙවරක් පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි පුණරීක්‍ෂණ පාඨමාලාව, මූලික බුද්ධි සහ ආරක්‍ෂක පාඨමාලාව, විශේෂ බලකා මූලික හා උසස් පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව, පරිගණක පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව සහ ශ්‍රී ලංකාවේ මූලික ප්‍රථමාධාර පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් මෙන්ම තරුණ නිලධාරි පාබල පාඨමාලාව - පාකිස්ථානය, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, හමුදා පුහුණු පාඨමාලාව - හයිටිය, ගෝලීය සාමසාධක මෙහෙයුම් උපදේශක පාඨමාලාව - මැලේසියාව, යුද්ධ හමුදා මධ්‍ය අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.
මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වෙතින් පවත්වන ලද ‘Federal Idea’ නේවාසික පාඨමාලාව සම්පූර්ණ කර Alliance Française de Colombo හි ප්‍රංශ භාෂාව පිළිබඳ උසස් සහතිකය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ සහයෝගයෙන් යුතුව බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගැටුම් නිරාකරණය සහ සාමය සඳහා වන සූදානම පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ඉන්දියාවේ, ඔස්මානියා විශ්වවිද්‍යාලය වෙතින් කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය තුළින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් කලා උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලය තුළින් මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.