Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2024 16:15:05 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 69 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 15 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එදින කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් එම බලකායේ නිර්මාතෘ වන ජෙනරල් දේශමාන්‍ය ඩී.එස්. ආටිගල එම්වීඕ අයිඩීසී පීඑස්සී ඩී එල්අයිටීටී ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, සංවත්සර පෙළපාලිය නිරීක්‍ෂණය කළ බලකාධිපතිතුමන් එහිදී සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත සිය සුබපැතුම් එක්කළේය. මෙම අවස්ථාවේදී, තෝරාගත් ක්ෂේත්‍රයන් කිහිපයක විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ බලඇණි සඳහා කුසලාන පිරිනමනු ලැබූ අතර, 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් 2024 වර්ෂයේ වඩාත්ම කැපීපෙනෙන රෙජිමේන්තුවට හිමි කුසලානය දිනාගනු ලැබීය. මේ අතර, වෘත්තීය පාඨමාලා සහ ක්‍රීඩා ඉසව් තුළින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයන් ද බලකාධිපතිතුමන්ගේ සම්මානයට පාත්‍රවිය.

සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ප්‍රවීණයන්ගේ සංගමය වෙතින් අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව හයක් ප්‍රදානය කළ අතර, එම බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික පොත් පරිත්‍යාග වැඩසටහනේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන්ගේ පවුල්වල දුවා දරුවන් වෙත පොත් පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. මෙම උත්සවය අතරතුරදී, 2024 සන්නාහ සන්නද්ධ බලකා සඟරාව ද එළිදැක්වීය.

මෙම අවස්ථාව සඳහා ලලී කොබ්බෑකඩුව මහත්මිය, විශ්‍රාමික සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් පිරිසක් සහභාගී වූහ.