Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2024 16:31:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් සිය අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා විසිර යාමට නියමිත කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා (20) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‘සිනෝ ලංකා මිත්‍රත්ව’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී වූහ.

කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමට ප්‍රථම අනිවාර්ය අංගයක් ලෙස මෙම අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවට සහ දකුණු ආසියාවට අන්තර්ජාතික අපරාධ මගින් එල්ල වන තර්ජන සහ ආරක්‍ෂක හමුදාවන්ගේ කාර්යභාරය’ යන මැයෙන් කෙඩෙට් නිලධාරීන් විසින් අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත්කිරීම සිදුකරනු ලැබීය. එහිදී, කෙඩෙට් නිලධාරීන් විසින් එම අධ්‍යයනය පිළිබඳව ඔවුන් සතු පුළුල් විෂය දැනුම නිරූපනය කරමින් එමගින් ඇති වන ආරක්‍ෂක අභියෝග සහ එය මැඩලීමට ගත හැකි ප්‍රතිචාර පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලදී.

අනාගතයේදී නිවැරදි තීරණ ගන්නා නායකයින් ලෙස, මෙහිදී කෙඩෙට් නිලධාරීන් විසින් මේ සඳහා ඔවුන්ගේ විසඳුම් හමුදා විද්වතුන්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීම සිදුකල අතර, එහිදී මණ්ඩලය විසින් එම විසඳුම් ඇගයීමට ලක්කරන ලදී. අනතුරුව, ප්‍රශ්නෝත්තර සැසියක් පැවති අතර, එහිදී විද්වතුන් විසින් අදහස් දක්වමින් එම මාතෘකාවේ විවිධ පැතිකඩයන් පිළිබඳව කෙඩෙට් නිලධාරින් දැනුවත් කිරීම සිදුවිය.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් නවතමයෙන් සංස්කරණය කරන ලද නව සඟරාවේ පිටපත එළිදැක්වීම ද සිදුකරන ලද අතර, එම විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එහි පළමු පිටපත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත සම්ප්‍රදායානුකූලව පිළිගන්වන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් තම අත්දැකීම් කෙඩෙට් නිලධාරීන් සමඟින් බෙදාගත් අතර, අනතුරුව ඔවුන්ගේ එම අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රශංසා ද එක් කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක උපදේශකවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි විශ්‍රාමික සේනාවිධායකවරුන් සහ පීඨ සාමාජිකයින් ද සහභාගී වූහ.