Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2024 17:04:03 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ කමාන්ඩෝ ආත්ම විශ්වාසයේ පිම්ම පුහුණු කිරීමේ ස්ථානය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරයි

කුඩා ඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණු පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් නවතමයෙන් ඉදිකරන ලද කමාන්ඩෝ ආත්ම විශ්වාසයේ පිම්ම පුහුණු කිරීමේ ස්ථානය 2024 දෙසැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කරන ලදී. මෙම නවීන පුහුණු කිරීමේ ස්ථානය යුද්ධ හමුදාවේ පුහුණු යටිතල පහසුකම් නවීකරණ ක්‍රියාවලියේ තවත් සාර්ථක අදියරක් සනිටුහන් කරයි.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමරු ඵලකය නිරාවරණය කර පුහුණු කලාපය විවෘත කරනු ලැබීය.

කමාන්ඩෝ භටයින් සංකේතාත්මකව මෙරූන් හිස්වැස්ම ලබාගැනීමේදී ප්‍රධාන අභියෝගයක් වන තම ආත්ම විශ්වාසය මැන බැලීමේ පරීක්‍ෂණ පිම්ම පැනීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ආත්ම විශ්වාසයේ පිම්ම පුහුණු කිරීමේ ස්ථානය ස්ථාපිත කරනු ලැබූ අතර, එමඟින් එම පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු විය. මෙමඟින් ජල අභ්‍යාස සිදුකරන කමාන්ඩෝ භටයින්ගේ ශාරීරික හා මානසික හැකියාව ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි.

මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය දැරූ කාලය තුලදී යෝජනා කරන ලද, විශේෂ ව්‍යාපෘති යෝජනා ක්‍රමය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ආත්ම විශ්වාසයේ පිම්ම පුහුණු කිරීමේ ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමකිරීම සඳහා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායකතුමන් සහ සියළු නිලයන්ගේ දායකත්වය හිමිවූහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් විසින් නවතමයෙන් ස්ථාපනය කරන ලද ආත්ම විශ්වාසයේ පිම්ම පුහුණු කිරීමේ ස්ථානය භාවිතා කරමින් ඔවුන්ගේ කැපවීම සහ ප්‍රවීණතාවය ප්‍රදර්ශනය කරන ලද නිදර්ශනයන් නැරඹීමෙන් පසුව එතුමන් එම ස්ථානය පරීක්‍ෂා කිරීම සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.