Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2024 14:37:06 Hours

ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය පිළිබඳව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුභසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව සොයාබැලීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 11 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්විය. එමෙන්ම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

අදාළ ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදෙන ලදි. එම මණ්ඩලයේ සභාපති වශයෙන් අතිරේක ලේකම් - ආරක්‍ෂක පත්කරනු ලැබූ අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපති, ත්‍රිවිධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරින් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් නිසි අයුරින් හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය යොමුකෙරුණු අතර, ඒ සඳහා ක්‍ෂණික විසඳුම් ලබාදීම මෙම මණ්ඩලයේ කාර්යභාරය වේ.

ව්‍යුහගත සහ සහයෝගී ප්‍රවේශයක් තුළින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුභසාධනය සහතික කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ඵලදායී ලෙස සපුරාලීම සඳහා වන රජයේ කැපවීම මෙම මුලපිරීම මඟින් අවධාරණය කර ඇත.

(පුවත සහ ඡායාරූප සඳහා අනුග්‍රාහකත්වය: ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අංශය).