16th December 2024 18:08:33 Hours
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු සහ යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව, ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, එතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදෙනු ලැබිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සුහඳ හමුවක් පැවැත්විණි. පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනකට ද එතුමන් සහභාගී වූ අතර, එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් යුද්ධ හමුදාවේ වත්මන් කාර්යභාරයන් සහ ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය. අනතුරුව, එහිදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් විසින් නූතන තර්ජනවලට මුහුණදීමට යුද්ධ හමුදාව සතු සම්පත් නිසි අයුරින් භාවිතා කිරීම සහ යුද්ධ හමුදාවේ ගරුත්වය රැකගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් ප්‍රථම වරට ආමන්ත්‍රණය කළ එතුමන් ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා යුද්ධ හමුදාවේ නොසැලෙන කැපවීම ඇගයීමට ලක්කරමින් අභියෝගවලට මුහුණදීමේදී මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ විනය ආරක්‍ෂා කිරීමට සියළු නිලයන් කැපවී කටයුතු කළයුතු බවත්, මවුබිමේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා යුද්ධ හමුදාවේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳවත් සිය අදහස් දැක්වීය.
උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමීමෙන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.