Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2024 13:25:54 Hours

එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 06 සාර්ථකව අවසන්

ගෝලීය සාමසාධක මෙහෙයුම් ආයතනයේ අනුග්‍රාහකත්වය මත පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 06 හි සමාප්ති උත්සවය 2024 දෙසැම්බර් මස 13 දින කුකුලේගඟ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 28 දෙනෙක්, නාවික හමුදා නිලධාරින් 02 දෙනෙක්, ගුවන් හමුදා නිලධාරින් 02 දෙනෙක් සහ බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරමින් හමුදා නිලධාරින් 07 දෙනෙකු ඇතුළු දෙස් විදෙස් ත්‍රිවිධ හමුදා නිලධාරින් 39 දෙනෙකු සහභාගී වූහ. කණ්ඩායම් නායිකා කැනඩාවේ ට්‍රේසි මාටිනෝ මහත්මිය, නෝර්වේ ස්ටයින් එලින්සන් මහතා, ඕස්ට්‍රේලියාවේ වොටර්ස් ඩැරල් ස්ටීවන් මහතා සහ නේපාලයේ බ්‍රිගේඩියර් ජෙනරල් (විශ්‍රාමික) නරේෂ් සුබා ලිම්බු ඇතුළු ගෝලීය සාමසාධක මෙහෙයුම් ආයතනයේ විෂය පථය පිළිබඳ විශේෂඥයින් 04 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ භඨකාර්ය සම්පාදක ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව පාඨමාලාවේ සමාප්ති දේශනය පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයන් පිරිසක් සහභාගී වූහ.