Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2024 20:02:18 Hours

ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් සංවිධානය කරනු ලැබූ ‘IMA Alumni – 2024’, සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක්

ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය (IMA) විසින් සංවිධානය කරන ලද ‘IMA Alumni – 2024’, දෙසැම්බර් මස 6 දින සිට 9 දක්වා දෙරඩුන් හිදී පැවති අතර, එමගින් එම යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 86 සහ 87 හදාරන ලද යුද්ධ හමුදා නිලධාරින් අතර සුහඳත්වය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ඉන්දීය රජය, ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඉන්දීය යුද්ධ හමුදාව විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව් .ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පිඑස්සී, මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්ප‍ී සහභාගී වූහ.

ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරල් සන්දීප් ජේන් විසින් පැමිණි පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, පැවති සුහඳ හමුවකින් පසුව, පැමිණි නියෝජිත පිරිස එම යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වූහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි ප්‍රධානී සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් සමඟ එක්ව එම විද්‍යාපීඨයේ ඉන්දීය යුද්ධ හමුදා ෆීල්ඩ් මාර්ෂල් සෑම් මැනේක්ෂෝ එම්සී විසින් විවෘත කරන ලද යුධ අනුස්මරණ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වීමට එක්විය.

නියෝජිත පිරිස පසුව ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත වෙමින් දැනට පුහුණුව ලබන ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරින් ඇතුළු විදේශීය කැඩෙට් නිලධාරින් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගැනීමකට එක් විය. මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස, නියෝජිත පිරිසෙහි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ‘ඛේත්‍රපාල්’ ශ්‍රවණාගාරයේදී එම යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යක්‍ෂක කාර්යය මණ්ඩලය සහ උපදේශකවරුන් ඇතුළු කැඩෙට් නිලධාරීන් 800කට අධික පිරිසක් ආමන්ත්‍රණය කරමින්, හමුදා නායකත්වය සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබාදෙනු ලැබීය.

සංචාරය අතරතුරදී නියෝජිත පිරිස ක්‍රීඩා කටයුතු වලද නිරත වූ අතර, දෙරඩුන් හි ප්‍රසිද්ධ බෞද්ධ විහාරය, දෙරඩුන් නගරය සහ අලංකාරවත් කඳුකර ප්‍රදේශය වන මුසුරි ප්‍රදේශය ද නැරඹීය.

මෙම සංචාරය මඟින් ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ වෘත්තීය සබඳතා වැඩිදියුණු කරන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හමුදා සහයෝගීතාවය සහ මිත්‍රත්වය ද මෙම සංචාරයෙන් මනාව පෙන්නුම් කරනු ලබන අතර, මෙරට නියෝජනය කරමින් මේජර් ජෙනරල්වරුන් හය දෙනෙකු සහ බ්‍රිගේඩියර්වරයෙකු ඉන්දියාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය විය.