Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:30:59 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 18 හි ආරාධිත දේශනය සිදුකරයි

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදායානුකූල යුද්ධ හමුදාධිපති දේශනය 2024 දෙසැම්බර් මස 06 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් පවත්වනු ලැබීය.

ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වී ඇති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙනුවෙන් උසස් පුහුණුවක් සමඟින් ඔවුන්ව අනාගත වගකීම් සහ අභියෝගවලට මුහුණදීම සඳහා බුද්ධිමය හැකියාවන්ගෙන් පෝෂණය කරමින් අණ හා මාණ්ඩලික රාජකාරීන් වෙනුවෙන් හැඩගස්වයි. මෙම දේශනය සඳහා පාඨමාලා අංක - 18 හදාරනු ලබන දෙස් විදෙස් උපාධි අපේක්‍ෂකයින් සහභාගී විය.

පිළිගැනීමේ දේශනය පවත්වමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් උපාධි අපේක්‍ෂකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ හැදින්වීමක් සිදුකරනු ලැබීය. මෙම දේශනය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 78 දෙනෙක්, නාවික හමුදා නිලධාරින් 21 දෙනෙක්, ගුවන් හමුදා නිලධාරින් 26 දෙනෙක් සහ බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගල්, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරන විදෙස් හමුදා නිලධාරින් 25 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂකයින් 150 දෙනෙකු සහභාගී වූහ.

‘2030 වර්ෂය වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රවර්ධනය’ තේමාව ඔස්සේ නවීකරණය, ධාරිතාවය ගොඩනැංවීම, තාක්‍ෂණික ඒකාබද්ධතාවය සහ උපායමාර්ගික අනුවර්තනය යන ප්‍රධාන කරුණු පදනම් කරගනිමින් යුද්ධ හමුදාධිපතිතුමන් ආරාධිත දේශනය පැවැත්වීය.

දේශනය සමාප්තියේ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සඳහා ප්‍රශ්ණෝත්තර සැසියක් පැවැත්වූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සිය අදහස් ඔවුන්ට බෙදාගැනීම සඳහා අවස්ථාව හිමිවිය. ඉන් අනතුරුව, ගුවන් හමුදා අංශයේ ප්‍රධාන උපදේශකතුමන් විසින් ස්තුති කථාව පැවැත්වීය. පසුව, සියලු උපාධි අපේක්‍ෂකයින් නියෝජනය කරමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සහභාගී වීම සබැඳිව සිය ස්තූතිය පුදකරනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම විද්‍යාලයේ සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. එම විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.