Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:24:42 Hours

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරල් ඩී.බී.එල්. කොලොන්නේ යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 දෙසැම්බර් මස 06 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය ද පුදකරන ලදී. එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ඩී.බී.එල්. කොලොන්නේ යූඑස්පී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළහ. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 නොවැම්බර් මස 12 දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 08 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩී.බී.එල්. කොලොන්නේ යූඑස්පී රත්මලාන, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරනු ලැබීය. වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 මාර්තු මස 20 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 දෙසැම්බර් මස 10 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම ලබන විට එතුමන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරි ධූරයේ රාජකාරි කටයුතු හෙබවීය.

සිය වෘත්තීය දිවිය තුළදී එතුමන්, 5 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 6 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ විධායක අධිකාරි, 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 12 අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ විධායක අධිකාරි, 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 82 අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන, පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පසු මූලස්ථානය නිලධාරි අණදෙන, 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 11 අනුඛණ්ඩයේ සහ 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මූලස්ථාන අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන, 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ වැඩබලන දෙවන අණදෙන නිලධාරි, 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික නිලධාරි II, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 5 කාර්ය සාධක බලකා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 65 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 10 සහ 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක, යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ ප්‍රක්ෂේපන සහ සංවර්ධන ශාඛාවේ තාක්ෂණික නොවන අංශයේ ප්‍රධාන, යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ ප්‍රක්ෂේපන සහ සංවර්ධන ශාඛාවේ කාර්යයේ නියුක්ත කර්නල් (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ ප්‍රක්ෂේපන සහ සංවර්ධන ශාඛාවේ කර්නල් සම්බන්ධීකරණ (ලේඛන සහ සැලසුම් අංශය), ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ සහ 641 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරි වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

වෘත්තීය දිවිය තුළදී සිදුකළ අනුපමේය සේවය වෙනුවෙන් එතුමන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළදී, පුපුරණ ද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලාව, තොරතුරු තාක්‍ෂණ නිපුණතා පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සිවිල් හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉංජිනේරු නිලධාරීන්ගේ මූලික පාඨමාලාව - බංග්ලාදේශය, ඒකාබද්ධ නිලධාරී බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව සහ පුපුරණ ද්‍රව්‍ය සහ පිපිරවීමේ ඉංජිනේරු විධාන පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මීට අමතරව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ආරක්‍ෂක අධ්‍යයනය) උපාධිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ පරිගණක යෙදවුම් පිළිබඳ ජාතික වෙළඳ සහතිකපත් පාඨමාලාව වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද එතුමන් විසින් සපුරා ඇත.