06th December 2024 11:37:33 Hours
භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 10 හි උපාධි ප්‍රධානෝත්සවය 2024 දෙසැම්බර් මස 05 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූ අතර භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ටී. ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පරිපාලනය සහ භඨකාර්ය සම්පාදනය පිළිබඳ ප්‍රමුඛතම වෘත්තීය පාඨමාලාව ලෙස පිළිගත් භඨකාර්ය සම්පාදන පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෘජු මඟපෙන්වීම යටතේ පවත්වනු ලබයි. මෙම වර්ෂය පුරාවට පූර්ණ කාලීන නේවාසික පාඨමාලාවක් ලෙස පැවැත්වූ මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු පාඨමාලාව හැඳෑරූ නිලධාරින් වෙත ‘Lsc’ ගෞරව නාමය ප්‍රදානය කරනු ලැබීය. මීට අමතරව, භඨකාර්ය සම්පාදන විද්‍යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව භඨකාර්ය සම්පාදනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනැමීමට ද කටයුතු කරනු ලබයි.
භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 10 2024 ජනවාරි මස 03 දින ආරම්භ කරනු ලැබූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 24 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් 2 දෙනෙකු සහ සැම්බියානු යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 27 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව අවස්ථාව සඳහා සහභාගී වූවන් යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය. ඉන් අනතුරුව, දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. මෙම පාඨමාලාව අළලා සැකසූ වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් පිළිගැනීමේ කථාව පවත්වනු ලැබීය.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ප්‍රමුඛතා අනුපිළිවෙලින් උපාධිධාරීන් වෙත තම උපාධිය පිරිනැමූ අතර සුවිශේෂී අධ්‍යයන කාර්යසාධනයක් පෙන්නුම් කළ නිලධාරීන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරනු ලැබීය. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරියා සහ හොඳම භඨකාර්ය සම්පාදන සැලසුම්කරුට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මේජර් වී.එස්.කේ. සමරවික්‍රම දිනාගත්තේය.
උත්සවය අතරතුරදී, භඨකාර්ය සම්පාදන විද්‍යාලය වෙතින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සඟරාව වන ‘The Golden Log 2024’ සඟරාව නිල වශයෙන් එළිදැක්වූ අතර එහි පිටපත් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය ඇගයීමට ලක්කරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් එතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන්, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.