Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2024 23:06:45 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 දෙසැම්බර් මස 04 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, පශ්චාත් යුද සමය තුළ එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය ද පුදකරන ලදී.

සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළහ.

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාර් මස 19 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්ත කරනු ලැබීය. වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2022 අගෝස්තු මස 02 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 දෙසැම්බර් මස 08 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම දිවියට එළඹෙන විට එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති ධුරයන් හෙබවීය.

එතුමන්ගේ වෘත්තීමය දිවිය තුළ, 1 ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී උපදේශක, 1 ඉංජිනේරු බලකායේ නිලධාරී අණදෙන, 211 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරී II (පාලන), ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III, 1 සහ 9 ඉංජිනේරු බලකායන්හි නිලධාරී අණදෙන, 514 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ යූ 3 හි ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 1 ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පුහුණු අංශයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන උපදේශක, 1 ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ කර්නල් යුද සේවා ලේකම් (අතිරේක) සහ කර්නල් යුද සේවා ලේකම්, 22 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 232 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති, පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක (ආරක්‍ෂක), යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති එතුමන් සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළදී, මූලික වෙඩික්කරු පුහුණු පාඨමාලාව, බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, බිම් බෝම්බ ඉවත් කිරීමේ මූලික පාඨමාලාව, රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ මූලික ඉංජිනේරු පාඨමාලාව - බංගලාදේශයේ, ඉංජිනේරු නිලධාරීන්ගේ යුද ඉංජිනේරු උපදේශක පාඨමාලාව - ඉන්දියාව, ගුවන් නඩත්තු පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් උපදේශක පාඨමාලාව - මොංගෝලියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළදී, ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්‍ෂක කටයුතු පිළිබඳ විද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඩිප්ලෝමාව, ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය පිළිබඳ වෘත්තීය සුදුසුකමක් ද සපුරා ඇත.