Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2024 14:30:57 Hours

‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය 2024 දෙසැම්බර් මස 03 දින ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

එහිදි, 2024 වර්ෂයේදී දිවයින පුරා පැවති අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලියන්හිදී ක්‍රීඩා ඉසව් 29 ක් තුළින් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී. පසුව, ත්‍යාග ප්‍රධානෝත්සවයේ පළමු කොටසේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන්ගේ සුරතින් විවිධ ඉසව් තුළින් අනුශූරතාව දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සම්මාන සහ කුසලාන ප්‍රදානය කෙරිණි.

පසුව, ‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය 2024’ හී ශූරතාවය දිනාගත් රෙජිමේන්තු සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ත්‍යාග සහ කුසලාන පිරිනැමීම සිදුකෙරුණු අතර එහිදී පසුගිය වසර තුළ අන්තර් රෙජිමේන්තු තරඟාවලියන් තුළින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුල්‍ය දිරිගැන්වීම් ද පිරිනැමිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට පැමිණීම ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.