03rd December 2024 19:48:07 Hours
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් 2024 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී අභියෝගාත්මක අවස්ථාවන්හිදී දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පුදකළේය. සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය.
යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත තිළිණ ප්‍රදානය කරනු ලැබීය.
මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 ජනවාරි මස 17 දින කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 33 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හැඳෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 දෙසැම්බර් මස 07 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම දිවියට එළඹෙන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති යන ධුරයන් හෙබවීය.
එතුමන්ගේ වෘත්තීමය දිවිය තුළදී, 4 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ මූලස්ථාන බතරොයියේ සහ 9 වන බතරොයියේ ඛණ්ඩභාර නිලධාරි, 4, 8, 9 බලඇණියන්හි සහ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායන්හි ඛණ්ඩභාර නිලධාරි, 4 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 9 වන බතරොයියේ ඛණ්ඩභාර නිලධාරි සහ බතරොයි කපිතන්, ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරි අණදෙන, 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 35 වන බතරොයියේ බතරොයි අණදෙන, 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 23 වන බතරොයියේ බතරොයි අණදෙන, 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 82 වන බතරොයියේ බතරොයි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ගන්නෝරුව කණ්ඩායමේ නිලධාරි අණදෙන, 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලස්ථාන බතරොයියේ බතරොයි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ උපදේශක, 10 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 681 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 141 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක (යුද්ධ) සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වීරවික්‍රම විභූෂණ පදක්කමෙන්, රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති එතුමන්ගේ සුවිශේෂී සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද පිරිනමා ඇත.
සිය හමුදා දිවිය තුළදී, තරුණ නිලධාරීන්ගේ පෙරහුරු පාඨමාලාව, ඒකක අණ සහ සන්නද්ධ බුද්ධි පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, නිරීක්‍ෂණ සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ආරක්‍ෂක උපදේශක සංස්කරණ පාඨමාලාව, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු තරුණ නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, පැරශුට් පාඨමාලාව - පාකිස්ථානය, කාලතුවක්කු මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලාව - නේපාලය සහ කාලතුවක්කු බලඇණි අණදෙන නිලධාරී පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හඳාරා ඇත.
එතුමන් චීනයේ නැන්ජිං කාලතුවක්කු විද්‍යාපීඨය තුළින් බලඇණි අණදෙන නිලධාරින්ගේ පාඨමාලා පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාව සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.