03rd December 2024 08:11:29 Hours
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් 2024 දෙසැම්බර් මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය ද පුදකරන ලදී. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය. එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළහ. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 ඔක්තෝබර් මස 15 දින, පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 02 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කරනු ලැබීය. වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2023 දෙසැම්බර් මස 06 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 දෙසැම්බර් මස 04 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 4,8 හා 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවන්හි නිලධාරි අණදෙන, 23 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා), 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, කොංගෝ රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MONUC) ශ්‍රී ලංකා ආරක්‍ෂක භට කණ්ඩයේ හමුදා නිරීක්‍ෂක,ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිලධාරි උපදේශක, කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා/සැලසුම්), 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (පුහුණු ආධාරක), ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (ටෙන්ඩර් සැකසුම් අංශය), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පරිපාලන), ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 14 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 652 පාබල බලසේනාවේ බලසේනාධිපති, 532 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (ක්‍රියා), 52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණවික්‍රම පදක්කම (දෙවරක්) සහ රණශූර පදක්කම (තෙවරක්) වශයෙන් පිදුම් ලබා ඇති එතුමන්ගේ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද පිළිගන්වා ඇත. එතුමන් සිය වෘත්තීමය දිවිය තුළදී, ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂක පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පිළිබඳ මූලික උපදේශක පාඨමාලාව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පිළිබඳ උසස් පාඨමාලාව, නිලධාරි ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරී පාබල පාඨමාලාව - පාකිස්ථානය, ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් සංග්‍රාමික (නිලධාරී) පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පාඨමාලාව - බංග්ලාදේශය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළදී, ඉන්දියාවේ දේවි අහිල්‍යා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක්, ශ්‍රී ලංකාවේ පිරිස් කළමනාකරණ ආයතනයේ පුහුණු හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජාතික මට්ටමේ ඩිප්ලෝමාවක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ ශ්‍රී ලංකාවේ පිරිස් කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකමක් සපුරා ඇත.