29th November 2024 11:28:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරය හෙබවීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 44 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර එතුමන් අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් කැපීපෙනෙන දක්‍ෂතා දැක්වූවෙකි. ක්‍රියාශීලී ක්‍රීඩකයෙකු වූ එතුමන් අඛණ්ඩව වසර තුනක කාලසීමාවක් එම විද්‍යාල ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ඉන්දියාවේ ඩෙහ්රා ඩන් ප්‍රදේශයේ පිහිටි හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කළ එතුමන් වර්ෂ 1990 ඔක්තෝම්බර් මස 05 දින අධිකාරියට පත්ව 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. රෙජිමේන්තුව තුළ ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇති එතුමන් 18 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මෙන්ම 661 හා 663 පාබල බලසේනාවන්හි බලසේනාධිපති ධූරය ද හොබවා ඇත.
එමෙන්ම, මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ පුහුණු කණ්ඩායම් ප්‍රධානි සහ 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි අණ හා මාණ්ඩලික ධූරයන් රැසක් හොබවා ඇත. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරය ද හෙබවීය.
එතුමන් යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අභිමානවත් ආදි සිසුවෙකු ද වේ. ශාස්ත්‍රපති උපාධි දෙකක් හදාරා ඇති එතුමන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහයෝගිතා වැඩසටහනේ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත. කාලතුවක්කු තරුණ නිලධාරී පාඨමාලාව (1993) - ඉන්දියාව, නිලධාරී ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව (1996) - ඉන්දියාව, පකිස්ථානයේ නව්ෂේරා ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ නිලධාරීන් ස්ථානගත කිරීමේ පාඨමාලාව (2000), උසස් කාලතුවක්කු පුහුණු පාඨමාලාව (2003) - ඉන්දියාව, දීර්ඝ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව (2007-2008) - ඉන්දියාව, කාලතුවක්කු බතරොයි අණදෙන්නන්ගේ පාඨමාලාව (2012) - චීනය සහ උසස් ආරක්‍ෂක දිශානති පාඨමාලාව (2015) - ඉන්දියාව වැනි හමුදාමය පාඨමාලාවන් ද එතුමන් විසින් හදාරා ඇත.
එතුමන් 2020 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශිෂ්‍ය කමිටුවේ සභාපති ධුරය හෙබවූ අතර හොඳම ජාත්‍යන්තර ශිෂ්‍යයා ලෙස ද තේරී පත්විය. එමෙන්ම, 2020 වර්ෂයේදී, විශිෂ්ඨ ආරක්‍ෂක සහයෝගීතාව සහ අවබෝධය සඳහා ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සාමාජිකයින්ගේ සම්මානය ද එතුමන් වෙත පිරිනමන ලදී.
යුද පිටියේදී දැක්වූ නිර්භිතකම වෙනුවෙන් එතුමන් රණ ශූර පදක්කම සහ තවත් පදක්කම් දහයකින් පිදුම් ලබා ඇත. ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින එතුමන් පුතෙකු සහ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් ද වේ.