Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2024 11:01:50 Hours

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් රාජකාරී අරඹයි

මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස 2024 නොවැම්බර් මස 25 දින කොළඹ - 07, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලයේදී ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමන් නව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි භාරගැනීමේ අවස්ථාවෙන් පසු පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබාදීමට කටයුතු කළයුතු බව පෙන්වා දුන්නේය.

රටේ ආපදා කළමනාකරණ නීති සකස් කර ඇත්තේ සැළකිය යුතු අධ්‍යනයකින් පසුව බවත් ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ගේ වගකීමක් බවත්, අවංකව තම රාජකාරිය රකින ඕනෑම නිලධාරියෙකුට තම සහයෝගය ලබාදෙන බවට සහතික වූ අතර අවශ්‍ය නම් ආපදා කළමණාකරණයට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිතුමන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ආපදා කළමනාකරණය සඳහා රජය ඉතා විශාල වියදමක් දරන බවද නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් එම මුදල් අවම කරගැනීමට හැකි බවද ජනාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත‍්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය අංශය