26th November 2024 07:03:24 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් එළිදැක්වූ ‘Army Logistic Core Value’ ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත 2024 නොවැම්බර් මස 25 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදි පිළිගන්වන ලදී. යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදක කටයුතු සහ ප්‍රමිතිකරණය නිසිආකාරව සිදුකිරීම සඳහා මඟපෙන්වීමක් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මත හමුදා කේත අංක: 0409A1 යටතේ මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අතරතුරදී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම ග්‍රන්ථයේ මංගල පිටපත නිල වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදක කාර්යය මණ්ඩල සාමාජිකයන් තම රාජකාරීන් නිවැරදිව ඉටුකරගැනීම සඳහා මෙම ග්‍රන්ථය තුළින් වටිනා දායකත්වයක් ලබාදෙයි. මෙම ග්‍රන්ථය තුළ යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදක කටයුතු සඳහා මඟපෙන්වීම් සිදුකරන මූලික මූලධර්ම සහ වටිනාකම්, යුද්ධ හමුදා කාර්යභාරයන් සඳහා සහයවීමේදී කාර්යක්‍ෂමතාව, වගවීම සහ වෘත්තීයභාවය පිළිබඳ කරුණු අඩංගු කොට නිර්මාණය කොට ඇත.
ග්‍රන්ථයේ මුල් පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මෙම ග්‍රන්ථය එළිදැක්වීම පිළිබඳව ඇගයීමට ලක්කරමින් එතුමන් මෙම ග්‍රන්ථය මඟින් භඨකාර්ය සම්පාදන ක්ෂේත්‍රයේ මූලික වටිනාකම් පිළිපැදීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශාඛා සහ ආයතන වෙත බෙදාදීම මගින් භඨකාර්ය සම්පාදන නිලධාරීන්, කාර්යය මණ්ඩල සහ එම ක්‍ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් ඇතුළු පරිශීලකයින්ට තම රාජකාරී නිවැරදිව ඉටුකිරීමට ප්‍රයෝජනවත් වනු ඇත.