25th November 2024 06:36:43 Hours
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අද (24) දින පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2024 සහ පොපි මල් සැමරුම් ප්‍රධාන උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
ලෝක යුද සංග්‍රාමවලින් ඇතුළු අනෙකුත් යුද සංග්‍රාම වලින් දිවිපිදූ රණවිරුවන් ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමය ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම සැමරුම් උත්සවයට පළමු හා දෙවන ලෝක සංග්‍රාමයේදී මියගිය රණවිරුවන් ඇතුළත්ය.
එම ස්ථානයට පැමිණි අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමයේ ප්‍රධාන ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ආගමික වතාවත්වලින් අනතුරුව දිවංගත රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත් විය. අනතුරුව, සම්භාවනීය අමුත්තන් සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමයේ නියෝජිතයින් සමඟ ජනාධිපතිතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, විදේශීය තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමයේ සාමාජිකයින් සහ රට වෙනුවෙන් දිවි පිදු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වූහ.
ඡායාරූප අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය අංශය