Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2024 14:50:22 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර 12 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර 12 වන සංවත්සරය 2024 නොවැම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ පනාගොඩ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් සමරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

12 වැනි සංවත්සරයට සමගාමීව 18 වැනි දින (සඳුදා) පනාගොඩ යුද්ධ හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත පිං පැමුණු වීම සහ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද එක් කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ සහභාගිත්වයෙන් බෝධි පූජා වැඩසටහනක් සංවිධානය කරන ලදී.

19 දින (අඟහරුවාදා) උදෑසන 1 කාරක රෙජිමේන්තුව ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ( ප්‍රධාන මාණ්ඩලික) බ්‍රිගේඩියර් බී.පී.ජී.කේ. බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදක) බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිට එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වසින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියළි සලාක ඇසුරුම් 36 ක් පරිත්‍යාග කිරීමේ විශේෂ සුබසාධන වැඩසටහනක් දියත් කරන ලද අතර, අනතුරුව ඔවුන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සිදුකරන ලද නොසැලෙන සේවය ඇගයීම වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී. පසුව එම මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමගින් එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට එක් විය.

ඉන් අනතුරුව, ආඥාපතිතුමා විසින් භට පිරිස් ආමන්ත්‍රණය කළ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පොදු අරමුණ සාර්ථක කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලය දක්වන දායකත්වය එහිදී අගය කරන ලදී.

මෙම අවස්ථාවට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 61 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එල්.එස් දයාවංශ, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.