Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2024 11:37:32 Hours

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ධූරයේ රාජකාරි අරභයි

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස අද දින (22) අකුරේගොඩ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ධූරයේ රාජකාරි භාරගැනීම සිදුවිය. එහිදී ජනාධිපතිතුමන් විසින් සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ පොදු අරමුණක් ඇතිව එක්වී මාතෘභූමිය යහපත් ජාතියක් බවට පත්කිරීමට එක්ව කටයුතු කරන ලෙසයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය. පිළිගැනීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපතිතුමා හමුවක් පැවැත්වූ අතර, එහිදී අමාත්‍යාංශයේ දැනට ක්‍රියාත්මක සහ ඉදිරි දී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. නව රජය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැපවී සිටින බවත් ජාතියේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිතුමන් ප්‍රකාශ කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය කුමක් වුවත් ජනතා බලය ඒ තරමටම ශක්තිමත්ව පවතින බවද මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිතුමන් විසින් තවදුරටත් පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ ප්‍රතිඵල දෙස බැලූ විට ජනතාවන්ගේ අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බව සහ රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ පැවති මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න ප්‍රමාණයක සහයෝගයක් රජයට ලබා දීමෙන් මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් ද වූ නිසා බවයි.

දේශපාලන අධිකාරියක් ලෙස ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීම හැර වෙනත් අරමුණක් තම රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කළේය. මෙම ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඉතා වැදගත් බවද එතුමන් අවධාරණ කරන ලදී. මහජනතාව අපේක්ෂා කරන මෙම නව පරිවර්තනය තුළ රාජ්‍ය සේවය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු නොකර ප්‍රගතියක් ලබා ගත නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරමින් සෑම සංවර්ධිත ජාතියකම ආර්ථික හා සමාජීය වර්ධනය පිටුපස බලවේගය වී ඇත්තේ රාජ්‍ය සේවය බව ඔහු මෙහිදී සඳහන් කළේය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්, ආරක්‍ෂක අංශ සාමාජිකයන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය අංශය)