11th November 2024 06:29:49 Hours
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ශිෂ්‍යභට පුහුණු ආයතනය වන ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සංවිධානය කරනු ලැබූ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝග කුසලාන - 2024 විසිර යාමේ පෙළපාලිය 2024 නොවැම්බර් මස 10 දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා යුඑස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන දොරටුව අසලදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් විසින් විසිර යාමේ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සිදු කරන ලදී. අනතුරුව, ජයග්‍රාහකයින් සඳහා පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදී.
හර්මන් ලූස් ශූරතා කුසලානය වාර්ෂිකව පිරිමි පාසලකින් දක්‍ෂතම ශිෂ්‍යභට කණ්ඩායමට පිරිනමනු ලබන අතර, බාලිකා පාසලකින් දක්‍ෂතම ශිෂ්‍යභට කණ්ඩායමට ද සොයිසා ශූරතාව පිරිනමනු ලැබේ. ඒ අනුව දීප ව්‍යාප්ත කණ්ඩායම් 4485ක් අතුරින් ශිෂ්‍යභට කණ්ඩායම් 60ක් මෙම අවසන් තරගයට සහභාගී වූ අතර, එයින් සම්මාන ප්‍රදානෝත්සවයේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩය බාලක අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, එම ශිෂ්‍යභට කණ්ඩායම 2024 වර්ෂය සඳහා දිවයිනේ හොඳම ඛණ්ඩය සඳහා වන හර්මන් ලූස් කුසලානය ද හිමිකර ගන්නා ලදී. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන සඳහා කුසලාන හිමිකර ගන්නා ලදී.
මේ අතර කාන්තා අංශයේ දක්‍ෂතම ඛණ්ඩය සඳහා වන ද සොයිසා සම්මානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය දිනාගත් අතර, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.
පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව, ශිෂ්‍යභට පෙළපාලිය ආමන්ත්‍රණය කල යුද්ධ හමුදාධිපතිතුමන් විනයානුකූලව අභියෝගවලට මුහුණ දීමට පුහුණු වූ තරුණ සමාජයක් ගොඩනැගීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සිදුකරනු ලබන කාර්යය පිළිබඳව සිය ප්‍රශංසාව පළකළේය. තවද, එතුමන් තම මතකයන් සිහිපත් කරමින් මීට වසර 40 කට පෙර පාසල් ශිෂ්‍යභටයෙකු ලෙස ජාතික ශිෂ්‍යභට බළකායෙන් පුහුණුව ලැබූ බවත් එසේම අද දින විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව ජාතික ශිෂ්‍යභට බළකායට ස්තූතිවන්ත වන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවිශේෂී කුසලතාවයන් මහජනතාවට ප්‍රදර්ශනය කරමින් විශේෂ යුද්ධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.
එම සංදර්ශනයෙන් පසු ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කළ අතර අනතුරුව, එතුමන් තේ පැන් සංග්‍රහයකට සහ සමූහ ඡායාරූපයකට සහභාගී විය.
උත්සවය අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ අමුත්තන්ගේ සටහන් පොතේ සටහනක් තැබීය.
මෙම විසිරයාමේ පෙළ පාලියට පූජ්‍ය පක්‍ෂය, යුද්ධ හමුදා සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධාන, ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්‍රාමික යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍යභටයින්ගේ දෙමව්පියන්, ශිෂ්‍යභටයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.