Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2024 18:03:09 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 21 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර අභිමානවත් 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 31 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික වැඩසටහන් මාලාවක් ද පැවැත්විණි. එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් භික්‍ෂූන් වහන්සේලා 25 නමක් උදෙසා දානය පූජාකෙරිණි.

2024 ඔක්තෝම්බර් මස 31 දිනට යෙදුනු සංවත්සර දිනයේදී 7 බලඇණිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නැගෙනහිර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවත්වාගැනීම සඳහා භටපිරිස්හි කැපවීම, වෘත්තීමයභාවය සහ ඔවුන්ගේ දායකත්වය පැසසුමට ලක්කළ අතර, මාතෘභූමියේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා කැපවී ක්‍රියාකළ සහ රණක්‍ෂිතයට පත් සියලුම රණවිරුවන් සිහිපත් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය කෘතඥතාව පුදකළේය.

අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය තුළ ඇති සමීප බැඳීම් සංකේතවත් කරමින් සහ නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන් සහ සිවිල් සේවක මහත්වරුන් අතර පවතින සුහඳත්වය පිළිබිඹු කරමින් පැවැත්වූ සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.