Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2024 11:14:13 Hours

එක්සත් ජාතීන්ගේ දූත පිරිසක් ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක

ඇමරිකානු එක්සත් ජනපද රජයේ අනුග්‍රහය ලබන පුහුණුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එම පුහුණුවට අදාළ ආධාර ප්‍රදානය කිරීම සඳහා එක්සත් ජනපදයේ නියෝජිතයින් පිරිසක් 2024 නොවැම්බර් මස 01 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක නිරතවිය.

එහිදී, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම නියෝජිත පිරිස සමඟින් සාකච්ඡාවක් පැවැත්විණි.

සාකච්ඡාවේ ආරම්භය සනිටුහන් කරමින් එම පුහුණු ආයතනයේ කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දායකත්වය දක්වන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණි. පසුව, මෙම පුහුණුවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බලඇණි, හමුදා නිරීක්‍ෂකයින් සහ මාණ්ඩලික නිලධාරීන් එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යෙදවීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

අවසානයේදී, සංචාරයේ නිරත දූත පිරිස සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුව දැනට පුහුණු මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව සාමසාධක භටපිරිස් වෙනුවෙන් තවදුරටත් අවස්ථාවන් නිර්මාණය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කළහ.