24th October 2024 19:05:59 Hours
ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවන් හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් වෙනුවෙන් ‘Sri Lanka Army National Security Concern’ තේමාව යටතේ ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය’ පැවැත්වීම සඳහා 2024 ඔක්තෝබර් මස 24 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
මෙම දේශනය මඟින් නිදහසින් පසු මෙරට යුද්ධ හමුදාවට එල්ල වන තර්ජන, ආරක්‍ෂක ගැටළු සහ ඒවායේ විවිධ ස්වරූපයන් පිළිබඳවත් ඉදිරීයේදි ඇතිවිය හැකි තර්ජනයන් පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් සිය අදහස් දැක්වීය. එමෙන්ම, යුද්ධ හමුදාව වෙතින් අනාගතයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මකව පැහැදිළි කළේය. දේශනය අතරතුරදී, ශිෂ්‍ය නිලධාරින් සතු ගැටළු සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡා කිරීමට ද අවස්ථාව හිමිවිය.
ජාතික ආරක්‍ෂක විද්‍යාලය වෙතින් පවත්වනු ලබන ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 03, යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 16 දෙනෙකු, නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 08 දෙනෙකු, ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 06 දෙනෙකු සහ විදේශ රටවල ශිෂ්‍ය නිලධාරීන් 08 දෙනෙකු විසින් හදාරනු ලබයි.
ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ උපදේශක (යුද්ධ හමුදා) බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී විසින් සමාරම්භක දේශනය පැවැත්වීය.
දේශනය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම ශිෂ්‍ය නිලධාරීන් වෙත සිය සුබපැතුම් එක්කරමින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. එම විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.