Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2024 11:25:50 Hours

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ප්‍රදර්ශනය යුද්ධ හමුදා ශාරීරික අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වින

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 දින යුද්ධ හමුදා ශාරීරික අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී මැතිණිය සහභාගී විය. උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සහ කොරියාවේ ජාතික ගීතයන් ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීය. පසුව, කොරියානු ටයිකොන්ඩෝ කණ්ඩායමේ සංදර්ශනයක් පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, කොරියානු තානාපති සහ ටයිකොන්ඩෝ කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු අයවළුන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන ප්‍රදානය කෙරිණි.

ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සහ රට තුළ එම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම උදෙසා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් අතිගරු මියොන් ලී මැතිණියගේ සුරතින් එතුමන් වෙත ගෞරව සම්මානයක් පිරිනැමූ අතර මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික යුද්ධ හමුදාධිපතිතුමන් ද එතුමන් වේ.

අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේදී දෙරටෙහි සංස්කෘතික අංගයන් හුවමාරුව සහ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරමින් කොරියානු තානාපතිතුමිය විසින් සමාප්ති දේශනය පැවැත්වූ අතර එහිදී, ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින ශක්තිමත් සබඳතාවයන් පිළිබඳව ද අවධාරණය කළාය.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් වර්ණවත් නර්තන අංගයන් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, විධායක ජෙනරාල් සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.