21st October 2024 19:06:52 Hours
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 13 සහ 14 දෙදින තුළ 7, 2 (ස්වෙච්ඡා) සහ 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා කාන්තා බලකා ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත බලකාධිපතිතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයන්හිදී ගනු ලැබූ සමූහ ඡායාරූප සඳහා පෙනීසිටි බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළ ද රෝපණය කළේය.
ඉන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් සිය ඒකකයන්හි ක්‍රියාන්විත සහ පරිපාලනමය වගකීම් සබැඳිව බලකාධිපතිතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළහ. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.