Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 21:50:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය 75 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 75 වන සංවත්සරය වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 12 දින සිට 14 දින දක්වා එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී වැඩසටහන් මාලාවක් පැවැත්වීය.

ආගමික කටයුතු සඳහා මුල්තැනක් ලබාදෙමින් උත්සවයේ කටයුතු ආරම්භ කරමින් රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ට සහ රෙජිමේන්තුවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීය.

අනතුරුව, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා වැඩමවා සිටි ගෞරවනීය මහා සංඝරත්නය වෙත 2024 ඔක්තොබර් මස 13 දින හීල් දානයක් පිරිනැමීය.

පසුව, එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඥාතීන් සඳහා, තේ පැන් සංග්‍රහයක්ද රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව යුධෝපකරණ බලකායේ සියලුම සාමාජිකයන්ට සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සෙත් පතමින් දානමය වැඩසටහනක් ද පැවැත්විණි.

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුධෝපකරණ බලකා පුහුණු පාසල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකදී එම බලකා සේවා වනිතා ශාඛාව විසින් රට වෙනුවෙන් දිවිපිදූ යුධෝපකරණ බලකායේ සාමාජිකයන්ගේ පවුල් වෙත මූල්‍යමය තිළිණ ප්‍රදානය කරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේදී දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විය.

2024 ඔක්තෝබර් මස 14 දින, යුද්ධ හමුදා යුධෝපකරණ බලකා විනය සහ අභිමානය පිළිබිඹු කරමින් භඨකාර්ය අණසක මූලස්ථානයේ අඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

75 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම බලකායේ ඉතිහාසය සහ ජයග්‍රහණ සංකේතවත් කරමින් සමරු මුද්දරයක් ද එදින එළිදක්වන ලදී.

සරඹ පෙළපාලියෙන් පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් සහභාගී වූවන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයක් සඳහා ද එක්වූහ.

අනතුරුව යුද්ධෝපකරණ බලකා පුහුණු පාසල් සම්මන්ත්‍රණ ශාලාවේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

සියලු දිවා භෝජන සංග්‍රහය අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපතිතුමන් විසින් නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනකු වෙත ඔවුන් විසින් එම බලකාය වෙනුවෙන් සිදුකරන ලද දායකත්වය අගයමින් සමරු කාසියක් ප්‍රදානය කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.