Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 17:59:48 Hours

ගජබා රෙජිමේන්තුවේ 41 වන සංවත්සර දිනයේ ‘පිරිත් සජ්ඣායනයට’ යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ගජබා රෙජිමේන්තුවේ 41 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 13 සහ 14 දෙදින තුළ අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවත්සර සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.

සංවත්සර සැමරුමේ සමාරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තුවට ආශිර්වාද එක්කිරීම සහ එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූහ. පිරිත් සජ්ඣායනාවේ ආරම්භ කිරීමට ප්‍රථම සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ප්‍රමුඛ පෙරහැරකින් සර්වඥ ධාතු කරඬුව සහ පිරිවානා පොත් වහන්සේ රැගෙන මහා සංඝරත්නය අෂ්ටාංගික ‘පිරිත් මණ්ඩපය’ වෙත වැඩම කරවනු ලැබීය. ජාතියේ ඉතිහාසය තුළ තීරණාත්මක කාලපරිච්ඡේදයන්හිදී යුද්ධ හමුදාවේ නායකත්වයන් දරමින් එම රෙජිමේන්තුව වෙතින් සිදුකළ අමිල කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් ස්වාමීන් වහන්සේ නමක් අනුශාසනාවක් සිදුකළේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් දිවන්ගත රණවිරුවන් වෙත තම ගෞරවය ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.