Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 09:51:53 Hours

පෑලියගොඩ, ජයතිලකාරාම විහාරස්ථානයේ ලානිල් ගලබොඩ අනුස්මරණ ‘සංඝාවාසය’ විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

පෑලියගොඩ, ජයතිලකාරාම විහාරස්ථානයේ ලානිල් ගලබොඩ අනුස්මරණ ‘සංඝාවාසය’ විවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 13 දින පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා පූජ්‍ය ගැටබේරිකන්දේ රතනසිරි නායක හිමිපාණන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහභාගී වූහ.

ජී.කේ. ජිනදාස සහ චන්ද්‍රා පියසීලි අමරසේන මහත්මිය විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව, උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම ආරාමයේ සර්වඥ ධාතූන් වහන්සේ චාරිත්‍රානුකූලව තැන්පත් කරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරිත්‍යාගශීලීන් සමඟ එක්ව අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය නිල වශයෙන් විවෘත කරන ලදී. ආගමික වතාවත් ආරම්භ කරමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පංචසීලය සමාදන් කෙරිණි.

අනතුරුව, පූජ්‍ය ඕමල්පේ ධම්මාලෝක හිමිපාණන් විසින් පිළිගැනීමේ කතාව සිදුකළ අතර, අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනායක හිමිපාණන් විසින් මහා සංඝරත්නය වෙත පූජාකරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් බෞද්ධ ධර්මයේ අභිවෘද්ධිය උදෙසා දක්වන කැපවීම ඇගයීමට ලක්කරමින් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කලයාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමිපාණන්, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමිපාණන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මක්කුලාවේ විමල හිමිපාණන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ‘ගෞරව නාමය’ පිරිනමනු ලැබීය.

අනතුරුව, පෑලියගොඩ නගර සභාවේ ලේකම් කුසලානි තරංගා මහත්මිය සහ ජී.කේ. ජිනදාස මහතා විසින් මෙම අවස්ථාවට ගෞරව නාමයක් පිරිනමන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් විශේෂ අනුශාසනාවක් ද පැවැත්වීය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්, මහා සංඝරත්නය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.