12th October 2024 18:21:15 Hours
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය, ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා සිංහ සමාජය, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ මහවිලච්චිය හා තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 6 දින තන්තිරිමලේ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී වාර්ෂික වෛද්‍ය කඳවුරක් පැවැත්විණි.
ත්‍රිවිධ හමුදා වෛද්‍ය උපදේශකයින්ගේ මූලිකත්වයෙන් මෙම වෛද්‍ය සායනයේදී අභ්‍යන්තර රෝගී සායනයන්, අක්‍ෂි, සාමාන්‍ය ශල්‍යකර්ම, නාරිවේද හා ප්‍රසව, ළමා රෝග, විකලාංග, මනෝචිකිත්සක සහ උගුර කන නාසය පිළිබඳ සායන ඇතුළු සායනයන් රැසක් පැවැත්විණි. එමෙන්ම, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙහිදී ජංගම දන්ත ඒකකයන් තුනක් ද මෙහිදී පවත්වනු ලැබීය. පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන්ගේ සහ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ සහයෝගය ඇතිව මෙහිදී රසායනාගාර පරීක්‍ෂණ, ද්‍රෘෂ්‍ය සහ ශ්‍රවණ පරීක්‍ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණ, ECG, භෞතචිකිත්සාව වැනි සේවාවන් ද සපයනු ලැබීය.
මෙම වෛද්‍ය කඳවුරට සමගාමීව, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය DSI ආයතනය සමඟ එක්ව තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසු සිසුවියන් 100 දෙනෙකුගේ ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය සියලුම අභ්‍යාස පොත්, ලිපිද්‍රව්‍ය සහ පාවහන් යුගල් මිලදී ගැනීම සඳහා ත්‍යාග වවුචර්පත් පරිත්‍යාග කරන ලදී.
තවද, මෙම වෛද්‍ය කඳවුර තුළින් සිවිල් වැසියන් 805 දෙනෙකුට වෛද්‍ය ආධාර ලබාදුන් අතර එම ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 70 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ද්‍රෂ්‍යාබාධ සහිත පුද්ගලයින් වෙත ඇස් කණ්නාඩි 110 ක් පරිත්‍යාග කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු 213 පාබල බලසේනාව සහ 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙතින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.