11th October 2024 16:03:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තොම්බර් මස 9 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.
එම සේනාංකයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම අවස්ථාවට සපැමිණි බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ඉන් අනතුරුව, ඉංජිනේරු සේනාංකයේ කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව නව සේනාංකාධිපතිතුමන් සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් යුද්ධ හමුදා රාජකාරීන් නිසි අයුරින් ඉටුකිරීමේ වැදගත්කම සහ කාර්යක්‍ෂමභාවය පිළිබඳ දැනුවත් කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.