Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2024 19:04:50 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, මානුෂීය මෙහෙයුමේදී මෙන්ම වෘත්තීය දිවිය තුළදී එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය පුදකළේය. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් සහ සිය පවුලේ සාමාජිකයන් වෙත තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 32 යටතේ කෙඩෙට් නිලධාරියෙකු වෙශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. සිය වෘත්තීය දිවිය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2022 අගෝස්තු මස 12 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ඔක්තෝබර් මස 10 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

සිය වෘත්තීය දිවිය තුළදී, 1 කමාන්ඩෝ රෙජිමේන්තුවේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 1 කමාන්ඩෝ රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාලන කණ්ඩායමේ කණ්ඩායම් අණදෙන නිලධාරි, දිගුදුර විහිදුම් බලකායේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආධාරක කණ්ඩායමේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, ජනාධිපති ආරක්‍ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, හිටපු ජනාධිපතිතුමන්ගේ ජ්‍යෙෂ්ඨ සහයක ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, 24 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 592 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 623 පාබල බලසේනාවේ බලසේනාධිපති, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති සහ 1 බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

සිය හමුදා දිවිය තුළදී, මූලික කමාන්ඩෝ පාඨමාලාව, ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව, කමාන්ඩෝ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, පැරෂුට් ඇසුරුම් සහ නඩත්තු පාඨමාලාව - පාකිස්ථානය, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලාව - ස්විට්සර්ලන්තය සහ අතරමැදි අණදෙන්නන්ගේ වැඩසටහන - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මීට අමතරව, එතුමන් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හදාරා ඇත.