04th October 2024 18:27:55 Hours
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 ඔක්තෝබර් මස 04 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළදී තම වෘත්තීය ජීවිතය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන් හිදී නොසැලෙන කැපවීමෙන් සහ ආදර්ශමත් කාර්ය සාධනයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඇගයීමට ලක් කළේය. එසේම එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
සුහඳ හමුවෙ සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.
මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1989 ජුලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 32 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 අගෝස්තු 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 ඔක්තෝබර් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල 1 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කණ්ඩභාර නිලධාරී, බුද්ධි නිලධාරී, විධායක අධිකාරී හා නිලධාරී අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 3, 11 පාබල සේනාංක මූලස්ථානයේ නිලධාරී අණදෙන (පාලන කණ්ඩායම), 11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 2 (පාලන), ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර්, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන උපදේශක, 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, මුලතිව් උසස් පාබල ඛණ්ඩ පුහුණු පාසලේ සේනාවිධායක, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී, භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පරිපාලන), 21 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 591 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 231 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, ආධුනිකයන් බදවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ , 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපත- මධ්‍යම වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
තවද මානුෂික මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ වික්‍රම පදක්කම (දෙවරක්) සහ රණ සූර පදක්කම (දෙවරක්) හිමිකර ගෙන ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළ නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, නිලධාරීන් සඳහා වන ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් සංස්කරණ පුහුණු පාඨමාලාව, සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා වන ජාත්‍යන්තර මානුෂීය නීති උසස් සංස්කරණ පුහුණු පාඨමාලාව, පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සහ සම්බන්ධීකාරක නිලධාරීන්ගේ පාඨමාලාව, ජාතික ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව, සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, පුහුණු අධ්‍යක්‍ෂවරුන් සඳහා වූ 18 වන ජාත්‍යන්තර පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය පිළිබද වැඩසටහන - ඉතාලිය, ඒකක අණදෙන සහ මාණ්ඩලික පාඨමාලාව - බංග්ලාදේශය, එක්සත් ජාතීන්ගේ හමුදා බලඇණි නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, උසස් ආරක්‍ෂක සංස්කරණ පාඨමාලාව -ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රේරක පුහුණු පාඨමාලාව - හයිටි ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රුසක් හදාරා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් පාඨමාලාව, කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි දේශීය හමුදාමය නොවන පාඨමාලා රැසක් හදාරා ඇත.