Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2024 07:30:54 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 ඔක්තෝබර් මස 03 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළදී තම වෘත්තීය ජීවිතය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන් හිදී නොසැලෙන කැපවීමෙන් සහ ආදර්ශමත් කාර්ය සාධනයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඇගයීමට ලක් කළේය. එසේම එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුවෙ සමාප්තියේදී විශ්‍රාම දිවියට පා මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1988 ජනවාරි මස 07 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත ඇතුලත් වෙන ලදී. මූලික යුධ පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1988 ජුනි මස 17 දින ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2024 අප්‍රේල් මස 25 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 57 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 ඔක්තෝබර් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කණ්ඩභාර නිලධාරී, 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරී අණදෙන, 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සම්බන්ධීකාරක නිලධාරි, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිලධාරි, 24 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා), 68 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් පුහුණු නිලධාරී, 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා), ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී (ස්වේච්ඡා), ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි (ස්වේච්ඡා), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පුහුණු පරීක්‍ෂක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂික මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ සූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. එතුමන් සිය හමුදා දිවිය තුළ කණ්ඩභාර නිලධාරී පාඨමාලාව (අවි අදියර), කණ්ඩභාර නිලධාරී පාඨමාලාව (උපක්‍රමික අදියර), කණ්ඩභාර නිලධාරී පාඨමාලාව (දරාගැනීමේ අදියර), ප්‍රහාරක පුරෝගාමී පාඨමාලාව, මානව සම්පත් කළමනාකරණ පාඨමාලාව, රෙජිමේන්තු ගිණුම් සහ පොත් තැබීමේ පාඨමාලාව, දෙවන අණ දෙන නිලධාරීන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සහ කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - ඉන්දියාව ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රුසක් හදාරා ඇත.