Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2024 19:40:33 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 ඔක්තෝබර් මස 02 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී මෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පුදකළේය. යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

වර්ෂ 1990 නොවැම්බර් මස 15 දින වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 මැයි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ඔක්තෝබර් මස 06 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

එතුමන්ගේ වෘත්තීමය දිවිය තුළදී වෛද්‍ය නිලධාරී යුද්ධ හමුදා මූලික රෝහල - පලාලි, ප්‍රාදේශීය මූලස්ථානය - වවුනියාව හා යුද්ධ හමුදා රෝහල - කොළඹ, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ දෙවන අණදෙන නිලධාරී, යුද්ධ හමුදා රෝහල - කොළඹ දෙවන අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යයේ නියුක්ත නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, කාර්යයේ නියුක්ත යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

විශ්‍රාම දිවියට එළඹෙන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානූෂීය මෙහෙයුම්වලදී මහඟු දායකත්වයක් ලබා දුන් අතර, ප්‍රධාන හමුදා මෙහෙයුම් වලදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ට ප්‍රතිකාර කරමින් යුධ පිටියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. එතුමන් යුද්ධ හමුදාවට කළ සේවය අගයමින් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයෙකුට මේජර් ජෙනරල් නිලයේ දැරිය හැකි ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් තනතුරක් වන යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයට පත් කරන ලදී.

මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හා ශල්‍යවේදී උපාධිය (MBBS), නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය උපාධිය (MD) ඇතුළු පාඨමාලාවන් රැසක් හදාරා ඇත.