Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2024 11:29:04 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

සමාජ වගකීම් සඳහා යුද්ධ හමුදාව කැපවී සිය සේවය ලබාදීම මෙම වැඩසටහන මගින් පිළිබිඹු කරනු ලැබීය. පනාගොඩ යුද්ධ හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී මෙම රුධිරය දන්දීමේ වැඩසටහන පවත්වනු ලැබීය.

මෙරට සෞඛ්‍ය සේවාවන් මෑත කාලීනව මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගයන් සඳහා පවතින ඉල්ලුමට පිළියමක් වශයෙන් වැඩසටහන පවත්වනු ලැබීය.

රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා හමුදා සාමාජිකයන් ඇතුළුව පරිත්‍යාගශීලීන් 718 දෙනෙකු සහභාගී වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න, කොළඹ යුද්ධ හමුදා රෝහලේ රුධිර පාරවිලයන අංශයේ විශේෂඥ වෛද්‍ය කර්නල් එස්.එල්.එස්. කුමාරගේ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වූහ.

මෙම දායකත්වය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර සංචිත නැවත වැඩිකිරීමට බෙහෙවින් ඉවහල් විය.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, කොළඹ යුද්ධ හමුදා රෝහල, ජයවර්ධනපුර මහ රෝහල, රාගම ශික්‍ෂණ රෝහල සහ මහරගම අපේක්‍ෂා රෝහල මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.