Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2024 17:10:34 Hours

විශ්‍රාම දිවියට පා තබන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 64 වන මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 22 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 15 දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකළේය.

උත්සවය අතරතුරදී, රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව සියලු නිලයන් ආමන්ත්‍රණය කළේය. එහිදී, එතුමන් එම රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් සහ සියලුම විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. පසුව, ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

එම රෙජිමේන්තුවේ ‘The Salute’ බහුකාර්ය ශාලාවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශ්‍රාම දිවයට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ එතුමන්ගේ භාර්යාව වන තුෂාරා යටිවාවල අලුවිහාරේ මහත්මිය එම රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකළ සුවිශේෂී කාර්යභාරය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.