18th September 2024 16:17:13 Hours
යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන ලෙස 2024 සැප්තැම්බර් මස 16 දින පත් කරනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 සැප්තැම්බර් 18 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයද හොබවා ඇති එතුමන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ ද රාජකාරි හොබවනු ලබයි.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ඔහුගේ හමුදා දිවියේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව සුභ පැතුම්ද එක් කරන ලදී. නව මාණ්ඩලික ප්‍රධානී විසින්ද යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් සිය ස්තූතිය පුදකළේය.
එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1970 පෙබරවාරි 09 දින උපත ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරීය. වර්ෂ 1989 ජනවාරි 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 31 යටතේ යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු එතුමන් ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව ලැබීය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. වසර 35 කට අධික සිය වෘත්තීය දිවිය පුරාවට අණ, මාණ්ඩලික හා උපදේශන ධූරයන් රැසක් හොබවා ඇති එතුමන් අත්දැකීම් සහ නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය වෘත්තීමය දිවියේ මුල් අවදියේදි 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරී අණදෙන, 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 3 සහ 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවන්හි අණදෙන නිලධාරී, 241 සහ 552 පාබල බලසේනාවන්හී බලසේනාධිපති, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ අතිරේක මධ්‍යස්ථාන සේනාවිධායක, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා අඥාපති - වන්නි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි ධූරයන් ද එතුමන් විසින් හොබවා ඇත. එසේම, එතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3, 23 සහ 53 පාබල සේනාංකයන්හි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3 සහ 2, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 2, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (නීති), යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 සහ කර්නල් පරිපාලන, 62 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඉතියෝපියාවේ සහ සුඩානයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී වැනි මාණ්ඩලික ධූරයන් ද හොබවා ඇත.
සිය වෘත්තීමය දිවිය තුළ, තරුණ නිලධාරී පාඨමාලාව සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, නිලධාරී අවි පුහුණු පාඨමාලාව - බංගලාදේශය, එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලාව - මැලේසියාව සහ පාබල බලඇණි ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය වැනි විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
එතුමන්, මානුෂීය මෙහෙයුමේදී සිය රණකාමීත්වය සහ නිර්භීතකම පෙන්නුම් කරමින් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඉන්දුනීසියාවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ.
නෙලූකා නානායක්කාර මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියාණන් වේ.