Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2024 11:24:07 Hours

54 පාබල සේනාංකයේ 14 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

54 පාබල සේනාංකයේ 14 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ සංවත්සර දිනය 2024 සැප්තැම්බර් මස 10 දින සේනාංක මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව එම සේනාංකයට අර්ශිවාදය එක්කරමින් සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්විණි. තවද, 2024 අගෝස්තු මස 27 සිට සැප්තැම්බර් මස 08 දින දක්වා ක්‍රිකට්, වොලිබෝල් සහ කඹ ඇඳීමේ තරඟයක් ඇතුළුව තරඟ රැසක් එම සේනාංකයේ අන්තර් බලසේනා සහ බලඇණි අතර පවත්වන ලදී.

මෙම ක්‍රීඩා තරඟ අතරින් සිය ශක්තිය සහ අධිෂ්ඨානය විදහා දක්වමින් 8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව ක්‍රිකට් ශූරතාවය දිනාගත් අතර, 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වොලිබෝල් සහ කඹ ඇදීමේ ශූරතාවයන් ජයග්‍රහණය කිරීමට සමත් විය. අනතුරුව සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ බලඇණි අණදෙන නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් භටපිරිස් වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 08 දින සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්විණි.

සංවත්සර දිනයට සමඟාමිව සේනාංකාධිපතිතුමන් 2024 සැප්තැම්බර් මස 10 දින භටපිරිස් අමතමින් ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ සේනාංකයේ සාර්ථකත්වයට දක්වන ලද දායකත්වය අගය කළ එතුමන් එකමුතුකම, විනය සහ ගුණාත්මක සේවාවන්හි වැදගත්කම අවධාරණය කළේය. අනතුරුව, 54 පාබල සේනාංකයේ බැඳිම් සහ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

සංවත්සර උත්සවය සම්ප්‍රදායිකව සමාප්ත කරමින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම මෙන්ම සේවයේ නියුතු රණවිරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණුකිරීම අරමුණු කරගනිමින් එදින සන්ධ්‍යාවේදී කඳවුර තුළ පිහිටි ‘මනු වෙහෙර’ විහාර භූමියේදී බෝධිපූජා පිංකමක් ද පැවැත්විණි.