10th September 2024 22:04:56 Hours
වසර 34කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමුදීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සරඔ භුමියේදි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරමින් දවසේ වැඩකටයුතු ආරම්භවිය. අනතුරුව එතුමන් සහ පවුලේ සාමාජිකයන් හට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
සමුගැනීමේ සම්ප්‍රදායන්ට අනුකූලව එම රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී සුහද තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ද සහභාගි වූහ.
අනතුරුව, එදින සන්ධ්‍යාවේ එතුමන් වෙනුවෙන් සාම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විය. විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට උපහාර දැක්වීම පිණිස එම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් විශාල පිරිසක් සහභාගී විය.
සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුවිශේෂී සේවය අගයමින් සමුගැනීමේ සටහන ඉදිරිපත් කරන ලදී. අවසානයේදි මේජර් ජෙනරල් එම්.පී.කේ මදුරප්පෙරුම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් බලකාධිපතිතුමන් ඇතුළු, සියලු නිළයන් සහ ඉංජිනේරු බලකායේ සේවා වනිතා ශාඛාවේ සියලුම සාමාජිකාවන් වෙත ශ්‍රී ලංකා යුධ හමුදාවේ තම සේවා කාලය පුරාවට දැක්වූ නොමද සහයෝගය සහ සුහදත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.