Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2024 21:57:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන් NVQ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ මුලසුන හොබවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, පලමු නිළ සංචාරය ලෙස දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ ජයරත්න කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආරාධනයෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2024 සැප්තැම්බර් මස 03 වන දින සහභාගී විය.

එම පුහුණු පාසල වෙත සපැමිණි සේනාවිධායකතුමන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, එතුමන් විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර ඉන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ව දැනුවත් කරමින් එම පුහුණු පාසලේ ආරම්භය සහ අභිමානවත් ඉතිහාසය පිළිබඳව සංක්ෂිප්ත දේශනයක් පවත්වන ලදී.

පසුව පරිපාලන සහකාර පාඨමාලාවේ සිසුන් විසින් සකස් කරන ලද ඉදිරිපත් කිරීමක් එහිදී ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 3 සහ 4 සම්පූර්ණ කරන ලද සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් සිදු කරන ලදී. ඒ අනුව පරිපාලන සහකාර පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 36 දෙනෙකුට සහතික පත්‍ර හිමි විය. සහතික පත්‍ර ප්‍රදානයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් භට පිරිස් ඇමතීම සිදුකල අතර එහිදී ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින්ගේ පුහුණු ප්‍රමිතිය නංවාලීමට දායක වූ කාර්ය මණ්ඩලය වෙත කෘතඥතාවය පළකළේය.

අනතුරුව පුහුණු පාසල් පරිශ්‍රයතුල නිරික්‍ෂන චාරිකාවක නිරත වූ එතුමන් පුහුණු පාසලේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතු බවට ප්‍රකාශ කළ අතර, එහිදී සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් ගෘහස්ථ ක්‍රීඩාංනයට ප්‍රධානය කළේය.

මෙම නිල සංචාරය අවසනය සනිටුහන් කරමින් සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

මෙම අවස්ථාවට ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් පරිපාලන, කර්නල් පුහුණු, කර්නල් භඨකාර්ය සම්පාදක, ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.