Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2024 21:28:05 Hours

අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩකයාහට ප්‍රශංසා කරයි

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත්වු පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර, එය එම තරඟ කාණ්ඩයේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිණි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 10 දින එනම් ඔහු නව ජයග්‍රහණය ලබා මව්රටට පැමිණි පලමු දිනයේ දීම සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී. මෙම හමුවේදී බලළත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් කොඩිතුවක්කු ගේ සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටද මහත් අභිමානයක් ගෙන දුන් බව පළ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සිය ප්‍රසාදය ප්‍රකාශ කළේය. ඔහුගේ විශිෂ්ට දක්ෂතාවය සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුගමනය කළ හැකි විශිෂ්ට ආදර්ශයක් බවද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කළේය.

ඔහුගේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුට ප්‍රශංසා කළ අතර, ඔහුගේ ජාත්‍යන්තර ජයග්‍රහණ අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරු ඵලකයක් සහ මුල්‍යමය පරිත්‍යාගයක් පිරිනමමින් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම්ද එක්කරන ලදී. අනතුරුව, බලළත් නිලධාරි II කේ.ඒ.සමිත දුලාන් කොඩිතුවක්කු ගේ පුහුණු කරුවන ප්‍රදීප් නිශාන්ත මහතාගේ දැඩි උත්සාහය සහ නිවැරදි මඟපෙන්වීම අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම මහතා වෙතද විශේෂ සමරු ඵලකයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ද සහභාගී වූහ.