Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2024 08:05:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, වන්නි ප්‍රදේශයේ උත්සව මාලාවක් සඳහා සහභාගීවේ

"ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ආඥාපති අභියෝගතා ක්‍රිකට් කුසලානය - 2024" මෙවර මන්නාරම නගර සභා ක්‍රීඩා පිටියේදී පැවති අතර එයට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 07 දින සහභාගී විය. තවද, එම අවස්ථාවට මන්නාරම් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හී ආයතන ප්‍රධානීන් රැසක්ද එක්ව සිටියහ.

මන්නාරම් ජනතාව අතර සාමූහිකත්වයක් පවත්වා ගැනීම අරමුණින් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්. පී රාජපක්‍ෂ ආර්එස්පී ගේ සංකල්පයකට හා සැලැස්මකට අනුව මෙම ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලිය සංවිධානය කර තිබිණි.

එම ක්‍රිකට් තරඟාවලියට සමගාමීව මන්නාරම් දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවති තූර්ය වාදක තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද එදින සංවිධානය කර තිබුණි.

ඉන් අනතුරුව, තෝරාගත් පාසල් ළමුන් හැට (60)දෙනෙකු වෙනුවෙන් පාසල් බෑග්, සපත්තු, ලිපි ද්‍රව්‍ය ඇතුළත් තෑගි පාර්සල් ප්‍රදානය කෙරුණු අතර, එයට අමතරව, ප්‍රදේශයේ අවශ්‍යතා ඇති තෝරාගත් පවුල් හැටක් (60) වෙනුවෙන් වියළි සලාක පාර්සල්ද බෙදා දෙන ලදී.

පාසල් දරුවන් වෙනුවෙන් ලබා දුන් ත්‍යාග පාර්සල් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහකත්වය සීමාසහිත ‘බාටා’ පුද්ගලික සමාගමෙහි ක්ලයිව් මහතා සහ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද අතර, වියළි සලාක ඇසුරුම් සඳහා විශ්‍රාමික මේජර් බර්ටි පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අනුග්‍රහය දක්වන ලදී.

තවද, මෙම අවස්ථාව වෙනුවෙන් මන්නාරම රදගුරු හිමිපාණන් වන ගරු ආචාර්ය ‘ෆිඩෙලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු’ රදගුරු තුමන් ඇතුළු ප්‍රදේශයේ ආගමික නායකයින් ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගී විය.

ක්‍රිකට් තරගයේ ශූරතාව මන්නාරම ‘ෆැල්කන්ස්’ පිලට හිමිවූ අතර, තූර්ය වාදක තරඟයේ ශූරතාව මන්නාරම ‘ශාන්ත සර්වේශස්’ පිරිමි විදුහල විසින් දිනා ගන්නා ලදී. මෙහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ කනකේෂ්වරන් මහතා, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්,මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ චන්ද්‍රපාල මහතා ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා සහභාගී වූහ.

මෙම වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් 54 වන පාබල සේනාංකය විසින් පාසල් සිසුන් සහ සිවිල් වැසියන් 600 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පැවැත් විණි.

තවද, මෙම වැඩසටහන් මාලාවට සමගාමීව 543 පාබල බලසේනා බළප්‍රදේශයේ සෙල්වරි ගම්මානයේ ජීවත් වන ජනතාව සඳහා පිරිසිදු ජලය ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියේ මූල්‍ය ආධාර ඇතිව 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සහ 54 පාබල සේනාංකාධිපතිතුමන් විසින් ජනතා අයිතියට පත් කරන ලදි.