Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2024 21:11:29 Hours

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුතුමන් ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමාගේ පැසසුමට

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 03 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ ඉටුකළ මෙහෙවර මෙන්ම තම යුද්ධ හමුදාධිපතිධූර කාලය තුළදී විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත, යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පළකළේය. මෙම සුහඳ හමුව සමාප්තියේදී, විශ්‍රාම දිවියට එලබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. එසේම වෘත්තීය ජීවිතය පුරාවට රාජකාරි ඉටුකිරීමේ දී එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සිදුකළ කැපකිරීම්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට මෙහිදී ලක් කළේය.

මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1991 ජනවාරි මස 02 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 35 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට බඳවා ගන්නා ලදී. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යුද පුහුණුව සාර්ථකව අවසන් කිරිමෙන් අනතුරුව, දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබා 1992 අගෝස්තු 29 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අනුයුක්ත කරන ලදී. එතුමන් 2024 ජූනි මස 05 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ අතර 2024 සැප්තැම්බර් මස 08 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. විශ්‍රාම ලබන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු තනතුර දැරීය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ පලාලි අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයේ ඛණ්ඩභාර නිලධාරී, වවුනියා අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයේ ඛණ්ඩභාර නිලධාරී, වැලිඔය ක්‍ෂේත්‍ර වැඩපළේ නිලධාරී අණදෙන, 2 (ස්වේච්ඡා) බලඇණියේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපළ භාර නිලධාරි, 1 බලඇණියේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපළ භාර නිලධාරි, මන්නාරම ක්‍ෂේත්‍ර වැඩපළේ නිලධාරී අණදෙන, 53 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරි, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ විධායක නිලධාරි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සන්නද්ධ බලසේනා වැඩපළේ නිලධාරී අණදෙන, උඩවලව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළේ දෙවන අණදෙන නිලධාරී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 2 (ස්වේච්ඡා) බලඇණියේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකයේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - යාපනය මාණ්ඩලික නිලධාරි I භඨකාර්ය සම්පාදක, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කර්නල් ව්‍යාපෘති , කටුබැද්ද විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ අණදෙන නිලධාරි,65 පාබල සේනාංකයේ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදක,විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු,ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදක, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් යන තනතුරු හොබවා ඇත.

එතුමන් යුද්ධ හමුදා සේවා කාලය තුළ තරුණ නිලධාරී පාඨමාලාව, තරුණ කාර්මික නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, වැඩපල අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, යුද ටැංකි විද්‍යුත් උපාංග අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව - චීනය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත

එතුමන් හමුදා දිවිය තුළදී ශ්‍රී ලංකාවේ සීමාසහිත ගෝල්ඩන් කී ආයතනයේ පරිගණක විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව ඇතුළුව උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක්ද හදාරා ඇත.