Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2024 22:55:56 Hours

යුද්ධ හමුදාවෙන් කිලිනොච්චියේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කිලිනොච්චියේ ධර්මපුරම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පීය සැලැස්මට අනුව ව්‍යාපෘතිය ආරම්භ වූ අතර 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමූළුවේ භට පිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහයෙන් නව නිවස ඉඳිකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදුන් අතර, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී විසින් ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී. 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස්. මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී විසින් එම ව්‍යාපෘතිය සඳහා භට පිරිස් යොමුකරමින් නියමිත කාල සීමාව තුල නිවාසයේ වැඩකටයුතු අවසන් කරගැනීමට කටයුතු සලසා තිබුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහයක දායකත්වය නිහාල් ධර්මබන්දු මහතා ඇතුළු පවුලේ සාමාජ්කයින් විසින් ලබා දෙන ලදී.

උත්සවයේ වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිවාසලාභී පවුලේ සාමාජිකයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.