24th July 2024 09:44:46 Hours
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ආරක්‍ෂක භටපිරිස්හි දෙවන කණ්ඩායම සිය රාජකාරි නිමාවෙන් පසුව 2024 ජූලි මස 23 දින මවුබිම වෙත පැමිණියහ.
ඒ අනුව, යුද්ධ හමුදා නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකු ඇතුළත් 103 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස රාජකාරි නිමාවෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත සපැමිණි මෙම පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
එමෙන්ම, යුද්ධ හමුදා නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 97 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ආරක්‍ෂක භටපිරිස්හි ප්‍රථම කණ්ඩායම 2024 ජූලි මස 22 දින දිවයිනට පැමිණියහ.
2017 වර්ෂයේ සිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් මවුබිම වෙනුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමට කටයුතු කර ඇත.
මාලි රාජ්‍යයේ රාජකාරීන්හි සමාප්තිය සනිටුහන් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක භටපිරිස් කණ්ඩායමේ අණදෙන නිලධාරිතුමන් විසින් එක්සත් ජාතීන්ගේ ධජය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භාරදෙනු ලැබීය.