Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2024 09:45:06 Hours

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය සහ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. ඇරෑගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 07 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව ඔවුන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකළහ.

ඉන් අනතුරුව, විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරයන් පුදකරනු ලැබිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සමඟින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී විය. පසුව, එම රෙජිමේන්තුවේ සෙසුනිල භෝජනාගාරයේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වූහ.