23rd July 2024 18:50:54 Hours
පැරිසියේ පැවැත්වෙන ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල - 2024’ සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 ජූලි මස 23 දින යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැපවීමෙන් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයෙකු වන මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන එළඹෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්ව සඳහා නිල වශයෙන් සිය ස්ථානය මේ වනවිට තහවුරු කරගෙන ඇත. ඔහුගේ අධිෂ්ඨානය සහ දරාගැනීමේ හැකියාව තුළින් සිය ස්ථානය තහවුරු කරගැනීමට ඔහු සමත්විය.
එමෙන්ම, හෙල්ල විසි කිරීමේ ඉසව්ව තුළින් ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම මත පදනම්ව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ සිය ස්ථානය තහවුරු කරගැනීමට මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ සමත් වී ඇත. සුදුසුකම් ලැබීමේ කාලසීමාව 2024 ජූනි මස 30 දිනෙන් අවසන් වූ අතර මෑත කාලීන යාවත්කාලීන කිරීම් තුළින් ඇය සිය ස්ථානය තහවුරු කරගනු ලැබිණි. මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවන දිල්හානි ලේකම්ගේ ඔලිම්පික් හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ හොඳම ක්‍රීඩිකාවන් 32 දෙනා අතරට පැමිණ සිටියි.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළගේ විශිෂ්ඨ ජයග්‍රහණයන් වෙනුවෙන් සුබපැතුම් එක්කළේය. ඔවුන්ගේ කැපවීම, පුහුණුව සහ නොපසුබට උත්සාහය තුළින් ලොව කීර්තිමත්ම ක්‍රීඩා ඉසව්වන්හී ස්ථානයන් තහවුරු කරගැනීමට පමණක් නොව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්, රටටත් ගෞරවයක් අත්කර දීම වෙනුවෙන් සිය ප්‍රශංසාවන් ද ඔවුන් වෙත පුදකළේය.
එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමේදී ඔවුන්ට අවැසි පූර්ණ සහයෝගය සහ දිරිගැන්වීම් ලබාදෙන බවටද යුද්ධ හමුදාධිපතිතුමන් සහතික විය. සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ඔවුන් වෙත මූල්‍ය ආධාරයන්ද පිරිනැමීය.